Friday, December 25, 2009

කිරි අම්මාවරු දනට වඩිනවා

කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුළු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නො අසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා

නෙත නිදි වරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවෙමි දුක් විඳලා
එනමුදු කුසයේ හොවමින් බිහිකර
ඇඟ ලේ කිරි කර නැත පොවලා

නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහි කර කිරි මව වීලා

චන්ද්‍රලේඛා පෙරේරා
?????
????? 
ගීතය අසා රස විඳින්න


Thursday, December 24, 2009

පෝය සඳේ සඳ කිරණින්

බුද්ධ ධර්මය අවබෝධ කරත්වා
පංච ශීලය සැවොම රකිත්වා
කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා
දැහැමින් සාමයෙන් ලෝකය පවතීවා
 

පෝය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා
හදේ නැගෙන සිල් සුවඳින් පවේ දුගඳ වැනසේවා

සසර මහා කතර මැදින් අමා ගඟුල බිහිවේවා
අමා ගඟේ ගං වතුරින් සසර කතර සරුවේවා
ඒ කතරේ සොම්නස් මල් පොකුරු පොකුරු පිබිදේවා
පිබිදෙන මල් පොකුරු වලින් සාම සුවඳ විහිදේවා

සතර වටින් නැගෙන මහා රණ ගී හඬ නෑසේවා
ඒ රණ ගී හඬ පරදා සාම ගීත පැතිරේවා
කරුණා මෙත් සලිල ගලා ලෝ දහමින් නැහැවේවා
දැවෙන තැවෙන හැම හදවත් ඒ සලිලෙන් සැනසේවා

කඳනාරච්චි සොහොයුරන්
?????
?????
ගීතය අසා රස විඳින්න


රන් වන් කරලින් සැදිලා

රන් වන් කරලින් සැදිලා
සැදිලා වෙල් යායම පැසිලා
පැසිලා කමණී සිරියා රමණී
කමණී සිනහ පාලා

මින්නේරිය ගොවි ජනපදයේ
සංගීතය මදනළ මුසුවේ
සිරි සිරි තාලෙන් ඉමිහිරි නදමින්
පැතිරේ පැතිරේ
මෙහි දස අත පැතිරේ

මල් මාලය සිරි ලකඟනගේ
මින්නේරිය වැව ළඟ සැදුනේ
සමනළ ගමනින් සැරසෙන විලසින්
සුදිලේ සුදිලේ
වෙල් යායම සුදිලේ

සුසිල් ප්‍රේමරත්න, ලතා වල්පොල
?????
?????
ගීතය අසා රස විඳින්න


Sunday, December 20, 2009

සිරිපද ලස සමනොළ සිරසේ - මහවැලි මහවැලි මහාවැලී

මහාවැලී මහාවැලී
මහවැලි මහවැලි මහාවැලී

සිරිපද ලස සමනොළ සිරසේ
සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ
ලෙලී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහාවැලී

ගිරි කුළු විනිවිද නව මං මතුකොට
නව ලොවකට ඔබ ගලා බසී
අතීත රජ රට සිරිසර ඇසහැර
ඔබ එන තුරු මග බලා හිඳී
මහ වැව් බැඳි පෙර රජ දරුවෝ
ඔබගෙන් යළි නව පණ ලැබුවෝ
ලෙලී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහාවැලී

සිරි දුව හෙට මෙහි වඩිනා මඟුලට
මග පාදා පියවිලි අතුරා
ඔබ බැස එනු දැක හිනැහෙයි සිරි ලක
අනාගතය කිරි දිය උතුරා

සිරිපද ලස සමනොළ සිරසේ
සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ
ලෙලී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහාවැලී 

අමරදේව
මහගමසේකර
අමරදේව
ගීතය අසා රස විඳින්න


ඉපනැලිද දඟයි දෙනිපෙතද සැලෙයි

ඉපනැලිද දඟයි දෙනිපෙතද සැලෙයි
ගම් දොර සැමරුම් හමුවේ
මගෙ වෙහෙර නුඹයි අත නෙළුමක් වෙයි
පිදුමට පින් මදිද සිතෙයි

මේ ගමන දුරයි නුඹ තරු ලකුණයි
එළියෙන් දරුවන් සැනහෙයි
නුඹ මවක වගෙයි හිත බැතිබර වෙයි
ඉන් මගෙ දෑසම බොඳවෙයි

නොදැමුනු සුළඟේ ඇයි නා මල සසල කළේ
නා මලම තමා සැඩ සුළඟද නතර කළේ
සසරේ පසු පස එන තැවුලද උරුම වුණේ
එය තැවුලක් නොව එක මොහොතකි සසර මගේ

මගෙ වෙහෙර නුඹයි අත නෙළුමක් වෙයි
පිදුමට පින් මදිද සිතෙයි
නුඹ මවක වගෙයි සිත බැතිබර වෙයි
ඉන් මගෙ දෑසම බොඳවෙයි

නන්දා මාලිනී,සුනිල් එදිරිසිංහ,රෝහණ වීරසිංහ
බන්ධුල නනායක්කාරවසම්
රෝහණ වීරසිංහ
(අඹු දරුවෝ ටෙලි නා ට්‍යය)

එදා මෙදා තුර

එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුළු වසා
ලයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා

දෑස් කවුළු පත් පලා කඳුළු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්

එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුළු වසා
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා

ඊයේ ඉපදී අද මියයන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැත ඇයි මේලොව මා තනිව ගියේ
ආයෙත් දවසක එකහිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට පියේ

සනත් නන්දසිරි
විමල් ජයශාන්ත
සනත් නන්දසිරි
ගීතය අසා රස විඳින්න